නෙල්කා ශිරෝමාලා : පහරෙන් පහරට සම්මතය බිඳ දමමින්
රිකාසා හසන්
ප්‍රංශ තානාපති කාර්යාලයේ සහය ඇතිව, මෙරට සිටින ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ අභිප්‍රේරනාත්මක අපුරු ගමන් මග පිළිබද අවධානය යොමු කරමින් ‘ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ කථා’ යටතේ නිර්මාණය කල කෙටි කතා මාලාවක් ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු. මෙම කථා ඔවුන්ගේ ජීවිත, අත්දැකීම් සහ අභියෝග ගවේෂණය කරනු ඇති අතර ඒ හරහා ඒවා ඔවුන් එම සීමාවන් තුළ සැරිසරන ආකාරය පෙන්වයි.
තම ජීවන ගමනේ බොහෝ බාධක පසුකරමින් ගමන් කළ නෙල්කා තම කෞතුක භාණ්ඩ දෙකෙන් එකක් වන “බොක්සිං අත්වැසුම් යුගලය” මෙම සම්මුඛ සාකච්ජාව සඳහා තෝරා ගැනීම අරුමයක් නොවේ.
පුරුෂ පාර්ශවය ආධිපත්‍යය දරන ලබන ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණය වූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙකු වන තඹු නෙල්කා ශිරෝමාලා බොක්සිං ක්‍රීඩාවට පිවිසෙන්නේ තම පියාගේ අඩිපාරේ යමින් ය. පුතුන් නොමැති දියණියන්ම හතර දෙනෙකුගේ පියා වූ ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු වූ අතර පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරුවෙකු ලෙස සේවය කළේය. “ඔහුගේ සිහිනය වූයේ යමෙකු ඔහුගේ අඩිපාරේ යනු දැකීමයි” යැයි නෙල්කා පවසයි. වර්ෂ එක්දහස් හත්සිය ගණන් වල සිට කාන්තාවන් බොක්සිං ක්‍රීඩාවේ යෙදී ඇත. වර්ෂ 1722දී ලන්ඩනයේ පැවැත්වූ එලිසබෙත් විල්කින්සන් සහ හැනා හේෆීල්ඩ් අතර තරඟය ලොව පැරණිතම කාන්තා බොක්සිං තරඟවලින් එකක් විය. කෙසේ වෙතත්, කාන්තා ලෝක ආධුනික බොක්සිං ශූරතාවලියේ පළමු තරඟාවලිය පැවැත්වුණේ, වර්ෂ 2001 දී, එනම් 13 වැනි AIBA සම්මේලනයේදී කාන්තා බොක්සිං ක්‍රීඩාව විධිමත් ලෙස පිළිගෙන වසර හතකට පසුවදීය. ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාව වර්ෂ 2000 දී ආරම්භ වූ අතර, නෙල්කාගේ පියා ක්‍රීඩාවේ පුරෝගාමියෙකු වීමට ඔහුගේ වැඩිමහල් දියණියව යොමු කළේය. ඔහු මගෙන් , “නෙල්කා, ඔබ බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමට කැමතිද? මට ඔබේ පුහුණුකරු විය හැකිය” ලෙස පවසමින් බොක්සිං අත්වැසුම් මගේ අතට දැමුවේය. ඔහුට ඕන වුණා මාව දවසක ඔලිම්පික් උළෙලකදී දකින්න.”
පළමු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්, නෙල්කාගේ ප්‍රථම තරගය ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව පැවති අතර, ඇයගේ ප්‍රතිවාදියාගේ මාස හයක පුහුණු කාලයට සාපේක්ෂව නෙල්කා සති දෙකක කාලයක් පමණක් පුහුණුවීම්වල නිරත විය. “මම ප්‍රබල ප්‍රතිවාදියාට එරෙහිව වට තුනක් ක්‍රීඩා කළා. මම පැරදුණා, නමුත් එය පාඩුවක් නොවේ”, ඇය පැවසීය. පසුව ඇය ප්‍රථම වරට ආධුනික බොක්සිං සංගමයේ කාන්තා නවකයින් සඳහා වූ තරඟාවලියේ ජයග්‍රාහකයා බවට පත් වූ අතර අඛණ්ඩව වසර පහක් ජාතික තරඟාවලියේ අනුශූරිය බවට පත්විය. 2005 වර්ෂයේදී ඇය නැගෙනහිර ටිමෝරයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳීමට බොක්සිං ක්‍රීඩාවට සමු දුන් අතර එහිදී ඇය එරට මහලේකම්වරයාගේ සහ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජ්‍ය නියෝජිතවරයාගේත්, අගමැති වරයා සහ අග්නිදිග ආසියානු විපක්ෂ නායක වැනි ප්රභූවරුන්ගේත් සමීප ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළාය. 2009 වර්ෂයේදී දී ඇය තරඟ තීරකයෙකු සහ විනිශ්චකාරියක ලෙස නැවත ක්‍රීඩාවට අවතීර්ණ වූවාය.
ඇයගේ දෙවන කෞතක භාණ්ඩය වූයේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ලැබුණු සිහිවටනයකි (COVID-19 වසංගතය හේතුවෙන් එය 2021 දී පැවැත්වුණි). නෙල්කා තවදුරටත් පවසා සිටින්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇගේ ජීවිතය වෙනස් කළ බවයි. ශ්‍රී ලංකා ධජය 44 වතාවක් ප්‍රදර්ශනය වීමට යෙදෙමින් මෙහිදී නෙල්කා තරඟ 33ක් විනිශ්චය කිරීමටත්, තරඟ 11ක තරඟ තීරකවරයා ලෙසත් තේරී පත් වූවාය (නෙල්කා නැවත වරක් ඔලිම්පික් මට්ටමේ තාක්ෂණික නිලධාරියෙකු ලෙස සුදුසුකම් ලබා ඇති අතර අගෝස්තු මාසයේදී පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වනු ඇත). ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රථම කාන්තා තාක්ෂණික නිලධාරිනිය ලෙසින් ඇය, අවසන් වටයේ තරඟ දෙකක් විනිශ්චය කළ පළමු කාන්තාව සහ පිරිමි සැහැල්ලු බර කාණ්ඩයේ අවසන් වටයේ තරඟ විනිසුරුවරයා ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස තවත් වාර්තා රැසක් සමඟින්ද දිවයිනට පැමිණියාය.
2015 තායිලන්තයේ පැවති ආසියානු ශූරතා තරඟාවලියේ අවසන් මහා තරඟයේ විනිසුරුවරයා ලෙස තේරී පත් වූ එකම කාන්තාව, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ප්‍රථම තරු තුන හිමි විනිසුරුවරිය, 2017 ආසියානු බොක්සිං සම්මේලනයේ හොඳම විනිසුරු (පිරිමි සහ කාන්තා), 2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඕනෑම ක්‍රීඩාවකින් පළමු ශ්‍රී ලංකා නියෝජිතයා ආදී ලෙස වසර ගණනාවක ඓතිහාසික වාර්තාවන්ට ඇය හිමිකම් කියයි.
1960 වසරේ රෝම ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ 1988 දකුණු කොරියාවේ පැවති ඔලිම්පික් උළෙලේ ප්‍රථම ශ්‍රී ලංකා ඔලිම්පික් බොක්සිං විනිසුරුවරයා ලෙස ඉතිහාසගත වූ හිටපු ජාතික ශූරයකු වන ධර්මසිරි වීරකෝන් මහතා නෙල්කාව හඳුන්වන්නේ “Queen of the Ring” (බොක්සිං වළල්ලේ රැජින) ලෙසය.
එම මොහොත ඇගේ පියාගේ සිහිනයේ සහ උරුමයේ කූටප්‍රාප්තිය ද විය. ඔලිම්පික් උළෙලකට යාමට අපොහොසත් වූ ඔහු තම දියණියට එම සිහිනය වෙත ලඟා කරවීය. කණගාටුවට කරුණ නම්, නෙල්කා, ඇය ලොව විශාලතම ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට සුදුසුකම් ලැබූ බව තම පියාට දැනුම් දීමට පෙර ඔහු මිය යාමය. ඇයව තෝරා ගැනීම පිළිබඳව දන්වන විද්‍යුත් තැපෑල ලැබෙන අවස්ථාව වන විට ඇය අවමංගල්‍ය ශාලාවෙන් පිටත සිට (එකල පැවති COVID සීමා කිරීම් හේතුවෙන්) ඇතුලට යාමට ඉඩ ලැබෙන තෙක් බලා සිටියාය. පළමුව ඇගේ සිතට නැගුනේ එය ප්‍රතික්ෂේප කිරීමටය. නමුත් අධෛර්යවීම් මධ්‍යයේ බලා සිටි ඇය දින දෙකකට පෙර එම ආරාධනාව පිළිගත්තාය.
“එය මට ඉතාමත් දුෂ්කර කාලයක්” යැයි නෙල්කා පවසයි. ප්‍රංශයේ පැවති යුරෝපීය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟයට සහභාගී වී ආපසු පැමිණි ඇයට අවසන් දිනයේ දන්වා සිටියේ ඇයට සති දෙකක කාලයක් නිරෝධායනය වීමට සිදු වන බවය. ඉතා විශාල කාමරයක් ලැබුණු නමුත් ඇය එහි තනි විය. පියාගේ අවමංගල්‍යයට හෝ දානමය පුණ්‍යකර්මයට සහභාගි වීමට ඇයට අවස්ථාවක් නොලැබුණි. ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා නැවත නිරෝධායනය වීමට පෙර ඇයට නිවසේ ගත කිරීමට ලැබෙන්නේ සති දෙකක් පමණි, එහිදී ද ඇයට නිරෝධායනය වීමට සිදු විය. “මටම පුදුමයි මම ඔලිම්පික් තරඟ වලදී එකදු වරදක් හෝ සිදු නොකිරීම. ඒ මගේ තාත්තාගේ ආශිර්වාදය නිසයි. එයාගේ අභාවයෙන් පස්සේ මම එයාගේ හීනය ඉෂ්ට කළා.” නෙල්කා පවසයි.
“සිංහල භාෂාවේදී බොක්සිං ක්‍රීඩාව විස්තර කරන්නේ ‘ගුටි නොකා ප්‍රහාර දීම’ (පහර නොකා පහර දීම) ලෙසයි. බොක්සිං ක්‍රීඩාවෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා: ඉවසීම, අභියෝගවලට මුහුණ දෙන ආකාරය, පිරිසක් පාලනය කරන ආකාරය, ඔවුන්ට අණ දෙන ආකාරය. මට බොක්සිං කියන්නේ මොකක්ද කියලා මට හරියටම කවදාවත් සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බැහැ.” නෙල්කා පවසයි. බොක්සිං ක්‍රීඩිකාවක් නොවූවත් ඇගේ දියණියද බොක්සිං ක්‍රීඩාවේ රසිකාවියකි. “මගේ පියා බොක්සිං ක්‍රීඩකයෙක්, මම බොක්සිං ක්‍රීඩිකාවක්, මම ගැබ්ගෙන සිටින විට මම විනිසුරුවරයෙක්. කව්ද දන්නේ? සමහරවිට දවසක ඇයත් විනිසුරුවරියක් වේවි” තම දියණියව ක්‍රීඩාවට යොමු කිරීම සඳහා කිසිදු දෙමාපියෙකු බිය නොවිය යුතු බව නෙල්කා වැඩිදුරටත් පවසයි.
බොක්සිං ක්‍රීඩාවේ දැක්වූ තාක්ෂණික කුසලතා වලින් ඔබ්බට නෙල්කා කැපවීමෙන් කටයුතු කළ පොලිස් නිලධාරිනියකි. 1997 දී උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස බැඳුණු ඇයගේ පළමු පත්වීම සිවිල් යුද්ධය පැවති වවුනියාවටය. ඇගේ පියා නාවික නිලධාරියෙකු නිසා සහ ඒ වන විටත් මෙහෙයුම් ප්‍රදේශවල ජීවත් වූ නිසා පළමු පත්වීම සම්බන්ධයෙන් ඇය නොසැලී සිටියාය. ඇයගේ දෙවන පත්වීම අමාත්‍ය මණ්ඩල ආරක්ෂක අංශයට වූ අතර එහිදී ඇය අමාත්‍යවරුන්ගේ සහ විදේශ නියෝජිතයින්ගේ ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළාය. ඇය 1997 සහ 1998 වර්ෂවලදී දක්ෂතම පොලිස් වෙඩික්කරුවා ලෙසින් ද ජයග්‍රහණ ලබා ගත් අතර කාන්තා බොක්සිං ක්‍රීඩාවේ ‘Best Loser’ සම්මානය නොනවත්වාම පස් වතාවක් දිනා ගැනීමේ වාර්තාව පිහිටවූ නමුත් ඇගේ පියාගේ එකී ජයග්‍රහණ හතක වාර්තාව පසු කරන්නට නොහැකි විය.
සිය වෘත්තීය ජීවිතයේදී නෙල්කා කඩවත පොලිස් ස්ථානයේද, කැලණිය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාරවරිය ලෙස නිට්ටඹුව පොලිස් ස්ථානයේද, A1 පොලිස් ස්ථානයක සේවය කළ පළමු කාන්තාව ලෙස කොල්ලුපිටිය කොට්ඨාසයේ වැඩබලන නිලධාරි (OIC) ලෙසද, 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසද, නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ අපරාධ විමර්ශන අධ්යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර ලෙසද සේවය කර ඇති අතර වර්තමානයේ රට පුරා විමර්ශන භාර නිලධාරියෙකු ලෙස සංචාරක පොලිසියේ සේවය කරනු ලබයි. ඇය ප්‍රංශ භාෂා උපාධියක් සම්පූර්ණ කර ඇති අතර රටවල් 36 කට අධික සංඛ්‍යාවකට සංචාරය කිරීමේ අත්දැකීම් ඇයගේ වර්තමාන භූමිකාවට ඉමහත් උපකාරයක් වන බව නිසැකය. නිහතමානී උප පොලිස් පරීක්ෂකවරියකගේ සිට ක්‍රමානුකූලව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් දක්වා ඇය උසස්වීම් ලබා ඉහළට පැමිණ ඇත.
නෙල්කාට තවමත් ඇය පරදවන අභියෝගයකට මුහුණ දීමට සිදු වී නැත. ඇය මුහුණ දෙන සෑම බාධකයක්ම ඇගේ අවසාන ඉලක්කය සපුරා ගැනීම සඳහා උපකාරී වෙයි. “අභියෝග මාව ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙත යොමු කළා,” ඇය පවසයි. එසේම ඇය අභියෝග සලකන්නේ නවමු කතාවක් නිර්මාණය සඳහා තමාට ලැබෙන අවස්ථාවන් ලෙසයි.
බහු වාර්ගික දරුවෙකු ලෙස ඉපදුන නෙල්කාගේ පියා දෙමළ වූ අතර ඇගේ මව සිංහල විය. එම නිසා 1983 කළු ජූලියේ දෙමළ විරෝධී සංහාරයේදී නෙල්කා සහ ඇගේ පවුලේ අය ඇය විස්තර කරන පරිදි “ බොහෝ දුෂ්කරතාවයන්ට” මුහුණ දුන්හ. ඇගේ පියා ආරක්ෂක අංශයේ සේවය කිරීම, 1987–1989 JVP කැරැල්ලේදී ද ඔවුන් ඉලක්කයක් වීමට හේතුවක් විය. අවසානයේදී, නෙල්කා පොලිසියට බැඳීමට තීරණය කළේ මෙම අත්දැකීම් වලින්, තමාව, තම පවුල සහ ඇගේ රට ආරක්ෂා කර ගැනීම මෙන්ම නවමු කතාවක් නිර්මාණය කිරීමේ අදහසිනි.
කෙසේ වෙතත්, තවත් වසර ගණනක් ඉතිරිව ඇති වුවද, විශ්‍රාම ගැනීම යෝග්‍ය බව ඇගේ මතයයි. ඇයගේ අනාගත ඉලක්ක මොනවාද? “මම ජාත්‍යන්තර මට්ටමේ සේවයක් ලබාදීමට කැමතියි, සමහර විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ” ඇය පවසයි. “තමන්ගේ රටට ගෞරවයක් රැගෙන එන, අවංකව වැඩ කරන මා වැනි කාන්තාවක් සඳහා අනිවාර්යෙන් අවස්ථාවන් ඇතැයි මම සිතමි.” එසේම ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ආදර්ශමත් ලෙස ක්‍රියා කිරීමට උපකාර කිරීමටද ඇයට අවශ්‍ය වී තිබේ. කෙසේ වෙතත්, ඇය දකින පරිදි ඇයගේ උරුමය ඉතා සරල ය. “මට අවශ්‍ය වන්නේ තමන් කාන්තාවක් බව ඔවුන් නිරතුරුවම මතකයේ තබා ගැනීමයි.” මවක්, බිරිඳක්, පොලිස් නිලධාරිනියක්, රාජ්‍ය නිලධාරිනියක්, සමාජ සේවිකාවක්, ක්‍රීඩිකාවක් සහ විනිසුරුවරියක් ලෙස කටයුතු කරන නෙල්කා සෑම විටම කාර්යබහුල වුවත් එයට බොහෝ සේ ආදරය කරයි. “එය මට සතුටක්” කියා ඇය පවසයි. “මම කරන හෝ කර ඇති සෑම රැකියාවක්ම මම සතුටින් කරමි. සෑම මොහොතකම මම මගේ ජීවිතය සතුටින් ගත කරමි. එම නිසා මට කවදාවත් පසුතැවීමක් අත්විඳින්න අවශ්‍ය නැත.”
ස්වයං-ප්‍රකාශිත ප්‍රීතිමත් පුද්ගලයෙකු වන නෙල්කාව කෝපයට පත් කරන්නේ කුමන කරුණුද? “වැරදි දේ කිරීමට” බලපෑම් කිරීම සහ ළමා අපචාර. සයිබර් අපරාධ භාර නිලධාරිනිය ලෙස මෙන්ම කාන්තා හා ළමා කාර්යාංශයේ වසර 17ක් ගත කර ඇති ඇය, තමා මුහුණ දුන් සෑම අවස්ථාවකටම වෛර කරන නමුදු ඒ සෑම අවස්ථාවකදීම වගකීමෙන් කටයුතු කල බවත්, වින්දිත කාන්තාවන් සහ ළමුන් යන දෙපාර්ශවයම වෙත නීතියේ සීමාව තුළ තමාට ලබා දී ඇති බලතල උපරිමයෙන් භාවිතා කළ බවත් පවසයි.
නෙල්කා තමාව ඉතා නිශ්ශබ්ද පුද්ගලයෙකු ලෙස විස්තර කරන නමුත් තමාගේ කටහඬ උස් බව ප්‍රකාශ කරයි. තම ස්වාමිපුරුෂයා සහ සමීප මිතුරන් ඇයව නිර්වචනය කරන්නේ “ඉතා දැඩි කාන්තාවක්” ලෙසයි. “මම මගේම තීරණ ගන්නවා. මම සෘජු ය. මම අවංකයි,”ඇය තවදුරටත් පැහැදිලි කරයි.
හදිසි සිසේරියන් සැත්කමකින් පසු තම අලුත උපන් දියණිය පළමු වරට දෑතට ගෙන ඇයට මව්කිරි දීමට තමන්ට හැකි වේදැයි සිතුණු බව ඇය සිහිපත් කරයි. ඒ අවදානම් මොහොතේ තම දියණිය සමඟ නොබිඳිය හැකි බැඳීමක් ඇති වූ බව පවසයි. “මම මගේ දරුවා මා ළඟින් තබාගත් විගසම මට පහසුවෙන්ම මව්කිරි දීමට හැකි විය. අදටත් මට ප්‍රශ්නයක් තිබේ: එනම් මවකගේ රුධිරය මව්කිරි බවට පත්වන්නේ කෙසේද?” යන්නයි. මාතෘත්වය නෙල්කාව, කාන්තාවන් නඟා සිටුවීමට සහ සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් යුත් සමාජයක් බිහි කිරීමට තවදුරටත් අධිෂ්ඨානය කරා ගෙන ගොස් ඇත. ඇය තම දියණියව ඇය මෙන්ම තම දෙපයින් නැගී සිටීමට හැකියාව ඇති ලෙස ශක්තිමත්ව ඇති දැඩි කරයි. “මට ශ්‍රී ලාංකික කාන්තාවන්ට උදව් කිරීමට අවශ්‍යයි. මට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට උදව් කිරීමට අවශ්‍යයි. මගේ අඩිපාරේ යන්න, දවසක ඔබට සාර්ථකත්වයට ළඟා විය හැකියි.”
සැබෑ සමානාත්මතාවය යනු “කාන්තාවන්ට පිරිමින් ලෙස වීමට හෝ පිරිමියෙකු ලබා ගන්නා සෑම දෙයක්ම ලබා ගැනීමට බල කිරීම නොවේ. අපි සටන් කළ යුත්තේ අපට හිමි නිසි තැන ලබා ගැනීමටය. සමානාත්මතාවය පසුපස නොගොස්, අපට ලැබිය යුතු නිසි ගෞරවය සහ ආරක්ෂාව ලබා ගැනීම සහ අපට ලැබිය යුතු නිසි අගය කිරීම ලබාගත යුතුය.” නිරන්තරයෙන් සීමා මායිම් නොතකා සහ සම්මතයන් නැවත අර්ථ දැක්වීම මඟින් ලබාගත් සංලක්ෂිත ඉදිරි දැක්ම නෙල්කාගේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධය මනාවට පිළිබිඹු කරයි. “පවතින බාධාවන් ඉවත් කරන්න නම් මම ඒ බාධාවන් නැති කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගන්න ඕන. ඒ මඟින් මට ක්‍රීඩාවෙන් අනිත් අයව ඉදිරියට ගෙන යාමට පුළුවන්” තම දියණිය සහ අනෙකුත් තරුණ ගැහැණු ළමයින් හට තමාට මුහුණ දීමට සිදු වූ විවිධ බාධාවන් සහ වෙනස්කම් වලට මුහුණ දීමට සිදු නොවන ලෝකයක් ලබාදීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් ලෙස ජීවිතයේ කටුක යථාර්ථයන්ට ඔවුන්ව නිරාවරණය කිරීමේ වැදගත්කම නෙල්කා අවධාරණය කරයි. “තරුණයින්ට ලෝකයේ යථාර්ථය ඉගැන්වීමට නම්, ඔවුන්හට ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් ලබා දිය යුතුයි. අපි ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් ලබා දිය යුතුයි. එමෙන්ම ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවන විට සිදු වන දේ ගැන කියා දිය යුතුයි.”
වඩාත් යහපත් අනාගතයක් සඳහා නෙල්කාගේ නොසැලෙන අධිෂ්ඨානය වන්නේ තවමත් සාක්ෂාත් කර ගැනීමට ඇති දේ සාක්ෂාත් කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමයි. සියලු පරාජයන් තම ශක්තිය බවට පත් කරගත් කාන්තාවක ලෙස තමාට හිමි තැන අහිමි වීම නොසැලෙන ලෙස ප්‍රතික්ෂේප කල නෙල්කාගේ ගමන බොහෝ ක්ෂේත්‍ර හරහා විහිදෙන පුද්ගලික ජයග්‍රහණයක් පමණක්ම නොවේ. එය සියළුම කාන්තාවන්ට තම හැකියාවන් විශ්වාස කිරීමටත්, තමන්ට හිමි විය යුතු නිසි පිළිගැනීම උදෙසා සඳහා සටන් කිරීමටත්, වෙනස්කම් සඳහා මුහුණ දිමටත් උපකාරී වන ප්‍රබල සහ ආශ්වාදජනක මාවතකි.
වැඩිදුර කියවීම් සඳහා
- Interview with Nelka Shiromala
- Nelka, living her father’s dream, Sunday Times, https://www.sundaytimes.lk/210725/sports/nelka-living-her-fathers-dream-450030.html
- Sri Lanka’s Queen of the Ring on the threshold of history, Sunday Observer, 18 July 2021, http://archives1.sundayobserver.lk/2021/07/18/sports/sri-lanka%E2%80%99s-queen-ring-threshold-history
- A father’s love in a boxing glove, Sunday Observer, 25 June 2021, https://archives1.sundayobserver.lk/2021/06/25/sports/father%E2%80%99s-love-boxing-glove
- Police officer Nelka Shiromala, first Lankan lady referee at Commonwealth Games ring Daily News, 28 March 2018, http://archives1.dailynews.lk/2018/03/28/sports/146797/police-officer-nelka-shiromala-first-lankan-lady-referee-commonwealth-games