ධාවන පථය තුළත් පිටතත් චිරස්ථායී ජීවය: කුමුදු ප්‍රියංකා
පමෝදි හේවාවරාවිට
ප්‍රංශ තානාපති කාර්යාලයේ සහය ඇතිව, මෙරට සිටින ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ අභිප්‍රේරනාත්මක අපුරු ගමන් මග පිළිබද අවධානය යොමු කරමින් ‘ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ කථා’ යටතේ නිර්මාණය කල කෙටි කතා මාලාවක් ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු. මෙම කථා ඔවුන්ගේ ජීවිත, අත්දැකීම් සහ අභියෝග ගවේෂණය කරනු ඇති අතර ඒ හරහා ඒවා ඔවුන් එම සීමාවන් තුළ සැරිසරන ආකාරය පෙන්වයි.
කුමුදු ප්‍රියංකා 2006 වසරේ සිට ඔලිම්පික් වීරවරියක් වීමට සිහින මැව්වාය. මේ, තම ගෙවත්තේ තිබු අත්බෝම්බයක් පිපිරී ඇගේ දෙඅත් සහ එක් ඇසක පෙනීම අහිමි වී වසරකට පසු ප්‍රථම වරට පුහුණුවීම් ආරම්භ කරනවාත් සමග ය. බස් රථයේ යන විට තම ආබාධිත බව පිටත ලෝකයට පෙන්වීමට බියෙන් සිටි කුමුදු, 2010 පැරා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී එහි මීටර් 200 T45 කාන්තා කාණ්ඩයේ (වැලමිටට දෙගුණයක් ඉහළින් හෝ පහළින් කපා ඉවත් කර ඇති අය සඳහා පවත්නා ආබාධිත ක්‍රීඩා වර්ගීකරණයකි) ලෝක වාර්තාවක් තැබීම තෙක් ආ ගමන මහත් කැපවීම් සහ සුවිසල් සිහිනවලින් පිරි එකකි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ගමක උපන් කුමුදු තම සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී නිවසේ සිටියදී ඇගේ මව විසින් ඔවුන්ගේ ගෙවත්තේ තිබී අත්බෝම්බයක් සොයා ගත්තාය. ඒ කුමක්දැයි නොදැන මව එය කුමුදු අතට දුන්නාය. “මම ඒක අම්මාගේ අතින් ගත්තම ඒකෙ හිස කොටස පෑගිලා පිපුරුවා. මම එදාත් මේ උසට වගේ හිටිය. ඒක මගේ අත්වලින් උඩට පුපුරා ගිය නිසා, මගේ අත්, මගේ පපුව සහ මගේ අහැක් තුවාල වුනා. මට මගේ අත් දෙකයි, එක ඇහැකුයි නැති වුනා.”අනතුරෙන් පසු සියලුම දේ නැවත ඉගෙන ගැනීමට සිදු වූ ආකාරය ඇය විස්තර කළා ය. පළමුව හැන්දකින් ආහාර ගැනීමට ඉගෙන ගත් අතර පසුව රබර් ඉලාස්ටික් එකක් තම පනාව තුළට ඇතුළු කර තනිවම හිසකෙස් පීරීමට ඈ ඉගෙන ගත්තාය. “ඒ කාලෙ මගේ කොණ්ඩෙ දිගයි”, ඇගේ බෙල්ලේ පිටුපස දක්වා දිගැති ඇගේ කොණ්ඩය පෙන්වමින් සිය මතකය අවදි කළ කුමුදු අවධාරණය කළේ උදව් ඉල්ලා කිසිවෙකුට බරක් නොවීමට තමා කොණ්ඩය කැපූ බවයි.
මේ ආකාරයෙන් කුමුදු ඇගේ අනතුරෙන් පසු වසර ගණනාවක් ගත කරන්නේ ස්වාධීන වීමට අදිටන් කරමිනි. “මම මුලින්ම ක්‍රීඩාවට යොමුවෙන්න කොළඹ ආපු කාලයේ මම තවත් ගැහැනු ළමයි කීප දෙනෙක් එක්ක මාලිගාවත්ත ප්‍රදේශයේ නැවතිලා හිටියා. මට තනියම දේවල් කරගන්න බැරි නිසා ඒ ගොල්ලො මට උදවු කළා. ඒත්, ටික දවසක් යද්දි මට තේරුනා මේක එයාලටත් ප්‍රශ්නයක් කියලා. ඉතින් මම කල්පනා කළා: මම වෙන කෙනෙකුට කරදර කරන්නේ ඇයි? මට තනියම දේවල් කරගන්න ඉගෙන ගන්න අවශ්‍ය වුනා.”
කුඩා කල තම පියා මියයාමෙන් පසු තම මව සමග හැදී වැඩුණු කුමුදුට “කොහොම හරි”ජීවිතය ඉදිරියට ගෙනයාමට අවශ්‍යව තිබූ අතර ඇගේ අනතුරෙන් පසුවද එම අධිෂ්ඨානය පහව නොගියාය. අනතුරින් මාස අටකට පමණ පසු එනම් 2006 ජනවාරි මාසයේදී ඇයට අවස්ථාවක් උදා වූ අතර, එහිදී ඇය කොළඹට යාමට තීරණය කිරීමට වැඩි වේලාවක් පසුබට වූයේ නැත. “මට මේ අනතුර සිදුවුනේ 2005 මැයි 24, 2006 ජනවාරි මාසේ මට ගුරුවරයෙක් හම්බුවෙනවා. එයා මාව හොයාගෙන මගේ ගෙදර ආවා — සර්ගේ නම ප්‍රේමදාස දිසානායක. ඔහු ක්‍රීඩා සමාජයක සාමාජිකයෙක් වූ අතර, ඔහු මොණරාගල දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධ ව්‍යාපෘතියක වැඩ කරමින් සිටියේය. සර් AG කාර්යාලයෙන් මම ගැන දැනගෙන මගේ ගෙදර හොයාගෙන ඇවිත් තිබුණා.”
කුමුදු පැවසුවේ, ප්‍රේමදාස සර් මුලින්ම ඇයව බලන්නට නිවසට පැමිණි විට ඇය තනිවම නිවසේ සිටි බවයි. “මම එයාව හම්බවෙන්න එලියටවත් ගියේ නෑ. මම හරිම ලැජ්ජාශීලීයි,” සිදුවීම සිහිපත් කරමින් ඇය ප්‍රකාශ කලේ, එම පළමු දිනයේ ඇය ඔහු සමග කතා නොකළද, ඔහු ඇයට උදව් කිරීමට අවංකවම උත්සාහ කරන බව ඇයට හැඟුණු බවයි. දෙවැනි වතාවට ඇය ඔහුව මුණගැසුණු විට ඔහුත් ආබාධිත බව ඇයට වැටහුණි. “ඔහුගේ කතාව මට කිවුවා, — ඔහු වයස අවුරුදු 18 දී ආබාධිත වෙලා රෝද පුටුවක තමයි තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන තියෙන්නෙ. ඔහු දැන් වෙනත් ආබාධිත පුද්ගලයන්ට උපකාර කරමින්තමයි හිටිය. ඒ කතාව ඇත්තෙන්ම මාව දිරිමත් කළා. මගේ ජීවිතය ගොඩනඟාගන්න තියන එකම මාර්ගය ක්‍රීඩාව කියලා ඔහු විශ්වාස කරන බවත්, මම ක්‍රීඩාවට පැමිණි යුතු බවත් ඔහු මට කිවුවා.”
කුමුදු ක්‍රීඩාවට පිවිසීම ඇගේ වාසනාව ලෙස දැක්වුවත්, ඇගේ ගමන ලෙහෙසි පහසු එකක් නොවීය. 2006 දී ඇය සිය පළමු ජාත්‍යන්තර තරඟයට සහභාගී වුවද, ඇයගේ මවට මේ සදහා උදව් කළ නොහැකි බැවින් ක්‍රීඩාවට සම්බන්ධ වීම අඩු කිරීමට ඇයට සිදු විය. “මට බාල තවත් සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා, මම හැමදාම හිතුවේ මගේ ජීවිතේට මොනවා හරි කරගන්න සල්ලි ටිකක් හොයාගන්න ඕන කියලා. මම 2006 වසරේ ක්‍රීඩාවට පිවිසි මුල් අවස්ථාවේදී අවශ්‍ය වුනු ප්‍රමාණයට වඩා පහසුකම් මට දැන් අවශ්‍යයි. ඒ සියල්ල එක්කම මම නිතරම මුදල් ඉපයීමේ අරමුණින් තමයි හිටියේ.”
මේ අතර MAS හෝල්ඩිංග්ස් සමාගම ඇයට හමුවිය. ඇය වර්තමානයේ එහි සේවය කරයි. ඇය MAS සමග ඇති සම්බන්ධය “විශාල ශක්තියක්” ලෙස විස්තර කරයි. ඇයගේ මිතුර මිතුරියන් කිසි විටෙක ආබාධිත අයෙකු ලෙස ඇය දෙස නොබැලූ බව ඇය සඳහන් කරයි. “ඒ ආයතනය මට කර්න්න පුළුවන් දේවල්, මට ඉගෙනගන්න අවශ්‍ය සියලු දේම හොයලා බලලා ඒවා කරන්න මට උදව් කළා. MAS එකේ මාස තුනේ යන්ත්‍ර ඉගැනීමේ අත්දැකීම හැමෝටම දෙනවා, මම ඒක සම්පූර්ණ කරලා එතනින් එහාට දියුණු වුනා. මට ඒක කරන්න බැරි නිසා ඔවුන් කවදාවත් මට නවතින්න කියලා කිව්වේ නැහැ. ඔවුන් මට ඉගෙනීමට නිදහස ලබා දීලා සියල්ල ඉගැන්නුවා.”
තම ආබාධිත බව පිළිගැනීමට ඉගෙන ගැනීමද කුමුදුට පහසු කාර්යයක් වුයේ නැත. ඇය නිවසින් පිටතට ගමන් කරනා විට දිගු අත් සහිත කමිස ඇඳගනිමින් තම ආබාධිත දෑත් සඟවා ගැනීමට උත්සාහ කළ ආකාරය ඇය සිහිපත් කළාය. “ දැන් ඒක එහෙම නෑ. ඉස්සර මම නිතරම මගේ ආබාධිතභාවය හංගන්න උත්සාහ කළත්, මම දැන් එහෙම කරන්නෙ නෑ.” කුමුදු නැවතත් අවධාරණය කරමින් පවසන්නේ තමන් ආබාධිතභාවය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නා විට ඇය මුහුණ දුන් අයහපත් අත්දැකීම් ලෝකයේ සාමාන්‍ය දෙයක් නොවිය යුතු බවයි. “මං පාරේ යනකොට “අනේ ඒ කෙල්ලට අතක් නෑ” කියලා මට කියනවා මම ඕන තරම් අහලා තියෙනවා. නමුත් මම දැන් මගේ මනස ශක්තිමත් කරගෙන තියන නිසා හිනාවෙලා ඉදිරියට යනවා. ඒත් කවුරු හරි තරුණ වයසේ කෙනෙක් මේ තත්වයට පත්වෙලා සමාජයෙන් මේ වගේ ප්‍රතිචාරවලට මුහුණ දෙන්න වෙනවා නම් ඒ අය ඒකෙන් ගොඩක් පීඩනයකට පත්වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඇහුවොත් ඒ අයගේ චිත්ත ධෛර්යය හීන වෙනවා.”
වෙනත් ආබාධිත පුද්ගලයින් අධෛර්යයට පත් නොවන බවට වග බලා ගැනීමට ඇය තුළ ඇති ආශාව නිසාම තමා වැනිම මෙවැනි සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයින්ට යම් දවසක උපකාර කිරීමට ඇගේ සිහිනයක්. කාන්තාවක් ලෙස ප්‍රතිරෝධය යනු “සෑම ආකාරයකින්ම” පවතින තත්ත්වයට අභියෝග කිරීම බව ඇය කතාබහේදී දැනුවත් ව ප්‍රකාශ කළාය. “මම ක්‍රීඩාවට එනකොට මගේ අභිප්‍රාය වුනේ කොහොම හරි ජීවිතේ විශිෂ්ඨ ලෙස ඉස්සරහට යන්න. ඒක තමයි ප්‍රේමදාස සර් වුනත් විශ්වාසයෙන් කිව්වේ. ඒක තමයි මගේ හිතටත් දැනුනේ. ඔහු 2013 දී මිය ගියත්, ඔහු මියගිය බව මට තවමත් විශ්වාස කරන්න බැහැ. මට තාමත් දැනෙනවා එයා මට කතා කරනවා වගේ.” වයස අවුරුදු 16 සිට ඇයගේ ගමන ගෙනහැර දක්වන විට කුමුදුගේ කටහඬ සැලෙයි. දශක දෙකකට පසුව, 2020 ටෝකියෝ හි පැවති පැරාලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම කාන්තාව බවට පත්වෙමින් ඇය කිරීමට බලාපොරොත්තු වූ දේ අවසන සාක්ෂාත් කර ගත්තාය.
සිය ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට ඉතා ආසන්නව සිටියදී ලොව පුරා COVID-19 වසංගතය පැතිරුනු ආකාරය ඇය සිහිපත් කරයි. “අවසානයේ මට අවස්ථාව ලැබුණු වෙලාව COVID-19 වසංගතය සමඟ ඉතා අභියෝගාත්මක වුණා. අපිට එළියට යන්න බැහැ, පුහුණුවීම් කරන්න බැහැ, අපි හිටියේ නිරෝධායනයේ. ජෛව බුබුලක තමයි අපි පුහුණුවීම් සිදුකලේ.” කුමුදුගේ ගමන බාධක වලින් පිරුණු එකකි. නමුත් ධාවන පථයේදී සහ ඉන් පිටතදී ඇය දැක්වූ නොසැලෙන චිරස්ථායි ජිවගුණය නිසාවෙන්ම, ලෝක ඉතිහාස පොත්වල ඇගේ කතාව ලිවීමට ඇය සමත් වීය.
(පමෝදි හේවාවරාවිට මූලික වශයෙන් ම මාධ්‍යවේදිනියකි. ඇය ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ට බලපාන කථා ගවේෂණය කරයි. ඇය ශ්‍රමය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන ක්ෂේත්‍රවල පර්යේෂණ සඳහා ද දායක වේ. එයට අමතරව, ඇය කියවීමට, දිවයින පුරා සංචාරය කිරීමට හා TIKTOK සමාජ ජාලයේ සැරිසැරීමට කැමැත්තක් දක්වයි. ඔබට ඇයගේ තවත් වැඩකටයුතු මෙතැනින් සොයාගත හැකිය.)
පරිශීලනය සඳහා සබැඳි සහ වැඩිදුර කියවීම්
- Kumudu Priyanka, Wikipedia, https://en.wikipedia.org/wiki/Kumudu_Priyanka
- Kumudu delivers personal best in T47 long jump, https://island.lk/kumudu-delivers-personal-best-in-t47-long-jump/
- The great Paralympic journey of a regenerated Para Athlete, https://www.sundaytimes.lk/210912/sports/the-great-paralympic-journey-of-a-regenerated-para-athlete-455021.html